ලාංකීය සිනමාව අවසන් වනුයේ 83 ජූලි කලබලය ආරම්හ වූ දිනයේ දී යයි යමෙක් පැවසුවොත් එය මරලතෝනියක් නම් නොවේ. අපට එසේ පැවසිය හැක්කේ සිනමාව තුල ඒ දක්වා පැවති සිංහල-දෙමල-මුස්ලිම් සුසංයෝගය අවසන් වී ලාංකීය සිනමාව එක් අවස්ථාවක ලිංගිකත්වය දෙසටත්, තවත් වරක පුද්ගලිකත්වය මත පදනම්ව වූ යම් ප්‍රජාවක් සඳහා වූ ඉලක්ක ගත අනන්‍යතා (GENDRE)සිනමාවක් බිහිවීම කරාද දෝලනය වීමක් සිදු වීම නිසාවෙනි. යුද්ධයෙන් පසුව එය හුදු සිංහල ජාතිකත්වයේ අභිමානය පෙන්වන්නක් බවට පත් වූ අතර 2022 අරගලයෙන් පසුව එය මේ සියළු යුගයන්ගේ වස්තු බීජයන් හි සංයුතියක් බවට පත් වී පංතිමය කලාවක් දක්වා ප්‍රවර්ධනය වී ඇත්දැයි වටහා ගැනීමට කාලයට ඉඩ දිය යුතු මාර්තෘකාවකි.
ජගත් මණුවර්ණගේ රහස් කියන කඳු නම් චිත්‍රපටයේ විග්‍රහ කර ගත යුත්තේ මෙම සියළු විෂය මුලික තත්වයන් හි යුගයන් ඔහුම කියන ආකාරයට කාලය, අවකාශය යන කාරණා අධ්‍යයනයට භාජනය කිරීමෙනි. ඒ අනුව ඔහුගේ ප්‍රථම චිත්‍රපටය නිර්මාණය වනුයේ 87-89 භීෂණ කාලය හා උතුරේ යුද්ධය පදනම් කර ගනිමිනි. එම යුගය තුල පමණක් නොව උතුරේ යුද්ධය තුලත් මනුෂ්‍යත්වය බිඳ වැටීණි. මිනිස් ජීවිතයකට මෙම යුගයන් තුල කිසිදු වටිනාකමක් තිබුනේම නැත.
විශේෂයෙන් 87-89 කාලය තුලදී නම් හමුදා සාමාජිකයින්ට තමන් සිදු කරන මර්දනය පිළිබඳව සවිඥාණික බවක් තිබුනේ ද යන්නද පැහැදිලි නැත. ඔවුන් සිදු කලේ ඔවුන්ට ලබා දුන් නීතිමය ආරක්ෂාව යටතේ පෝස්ටරයක් ගහපු එකත් දකුණේ නම් මරා දැමීම පමණි. එවැනි මානසික මට්ටමට පාලකයින් විසින් තල්ලු කල හමුදා සාමාජිකයා හැසිරුනේ චිත්‍ර පටිය පෙන්වා දෙන ආකාරයට යන්න විවාදයක් ද නැත. ප්ලාස්ටික් උරයක බහා ලු මිනියක “ඌට තාම පණ තියෙනවා “කියමින් පොල්ලකින් පහර දෙනුයේ මේ තමන්ටම අයිති ප්‍රජාවේ තරුණයන් යන්නවත් හැඟීමක් ඇතිව නොවේ. ඔවුන්ට අනුව තමන් මරා දැමු එකා පිස්සෙකි. එහි දී අපට රුසියානු 19 වන සියවසේ කෙටි කතාවක් වන ව්සේවලොද් ගාර්ෂින් ගේ “රතුමල” මතක් වේ. එය සාර්ගේ පාලන සමයේ පිස්සන් ලෙස හංවඩු ගසා විප්ලවවාදීන් සිර කර ඇති පිස්සන් කොටුවක් වටා ගෙතුණු කථාවක් වේ.
සාර්ගේ යුගයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඔවුන් තමන්ට ප්‍රතිපක්‍ෂ ප්‍රජාවකට එරෙහිව උතුරේදී එයිට සමාන ප්‍රචණ්ඩත්වයක් මුදා හැරුවද උතුරේ තරුණයා මිය ගියේ දකුණේ තරුණයා මෙන් නිරායුධව නොවේ. උතුරේ එය ෆිෆ්ටි-ෆිෆ්ටි ගේමක් විය. එම නිසාම වඩාත් ජාතිවාදී රාජපක්‍ෂ දේශපාලන කඳවුරට එක් වූ ඇතැම් හමුදා නිලධාරීන් පවා කොටි සංවිධානය පිලිබඳ යම් ගෞරවයකින් යුතුව කතා කරනුයේ ඔවුන් යුද්ධයේදී පෙන් වූ එම සටන් කාමිත්වය හා එහි ප්‍රචණ්ඩත්වය ප්‍රායෝගිකව ලැබූ අත්දැකීම් නිසා මත පදනම් ව යන්න රහසක් නොවේ. එහි දී දකුණේ තරුණයා පිළිබඳව හමුදා සාමාජිකයා තුල ඇත්තේ තමන් අතින් වරදක් සිදු වුනා යන පශ්වාත් සංතාපය තුල වුවත් ඔවුන් එය සිදු කලේ පවතින රජය ආරක්ෂා කිරීමට දිවුරුම් දී නිසා ඇති බවට පවසමින් මර්දනය සාධාරණය කරමින් සිටි. එහිදී තමන්ගේ ක්‍රියා කාරිත්වය තුල අවම යුධ නීතින් වලට හෝ ගරු කළා දා යන්න වත් සොයා ආපසු හැරී බැලීමට වත් ඔවුන් තුල සුදානමක් නොමැති අතර ඒ සඳහා ලාංකීය සමාජය තුලද කිසිදු උත්සාහයක් දක්නට නොලැබේ.
මනුවර්ණගේ චිත්‍රපටය තුල ප්‍රධාන විෂය පථය වනුයේ ද හමුදා සාමාජිකයින්ගේ අනුකම්පා විරහිත ක්‍රියා කලාපයයි. එය යම් ආකාරකට චිත්‍රපටිය තුල විද්‍යමාන වන බවට කිසිදු සැකයක් නොමැත. හමුදා සාමාජිකයින්ගේ හැසිරීම වඩාත් හොඳින් ප්‍රදර්ශනය කරමින් නිර්මාණය වූ චිත්‍රපටයක් වනුයේ ස්පිල්බර්ග්ගේ list of shindler චිත්‍රපටය හැඳින් විය හැක. ස්පිල්බර්ග් නාසීන්ගේ කෘරත්වය හා shindlerගේ මානව වාදය තිරය මත නිර්මාණය කරද්දී ඔහු කිසිදු ආකාරයකින් ප්‍රේක්‍ෂකයා නිර්වින්දනය නොකරයි. චිත්‍රපටය අවසාන වන තුරු ඔහු මෙම කෘරත්වය හා මානවවාදය අතර ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තබනු ලබන්නේ තමන් ද එහි ජීවත්වනවා යන්න හැඟීමක් ද ඔහුට ආරූඩ කරමිනි. කළු සුදු චිත්‍රපටය තුල රතු ඇඳගත් කුඩා යුදෙව් දැරියක් නිර්මාණය කිරීම තුල ඔහු ප්‍රේක්ෂකයාව සංහාරක කඳවුර තුලටම ඇද ගනී. බොහෝ අවස්ථාවලදී එම චිත්‍රපටය අවසන් වී සිනමාහලෙන් එලියට එන රසිකයා පැමිණියේ හඬා වැලපෙමිනි. නමුත් මනුවර්ණගේ චිත්‍රපටය තුල හමුදාවේ රහස් ගොඩ නැගිල්ලක්, පංසලක්, වැඩ බිමක්, බෙර වයනා නිවසක් යන විවිධ ස්ථාන කරා රැගෙන යාමෙන් ප්‍රේක්ෂකයා යම් වෙහෙසකට භාජනය කරනු ලබයි. ප්‍රේක්ෂකයා නිර්මාණය තුලට ඇද ගැනීම වෙනුවට ඔහු කැරම් බෝර්ඩ් එකක ඉත්තෙකු බවට පත් කරයි.
මනුවර්ණ බෙර වයනා වියපත් පියා තුලින් වින්දිතයා ශ්‍රී ලංකාවේ යම් කුලයකට අයත් බව පෙන්වන්න උත්සහ කරනු ලබයි. එය 71හා 87-89 සමස්ථ අරගලයන් තුල සාධනීය පංතිමය තත්වයන් මතු නොකර තක්කඩි ලෙස එහි කුල සාධකය සොයමින් කුරුටු ගාන වික්ටර් අයිවන් ව මතක් කර දේ. ස්පීල්බර්ග් තම චිත්‍රපටය තුලින් කියවීමට උත්සහ කරනු ලැබුවේද දෙවන ලෝක යුධ සමයේ යුදෙව් ජාතියට එල්ල වූ දැවැන්ත මර්දනය පිලිබඳවය. එහි එක් අවස්ථාවකදී තමන්ට උපදෙස් දීමට එන යුදෙව් ඉංජිනේරු කාන්තාවකට කඳවුරේ නාසි හමුදා ප්‍රධානියා විසින් වෙඩි තබා ඝාතණය කරනු ලබයි. මේ ආකරටයම අපගේ ගාමිණී මුතුකුමාරණ සහෝදරයාගේ වෛද්‍යයවරයෙකු වීමට සිහින දුටු අවුරුදු 18ක කුඩා සොයුරා බෙල්ල පාගා ඔහුගේ වැඩිමහල් සොයුරා ඉදිරියේදීම ඝාතණය කරනුයේ දකුණේ හමුදා කඳවුරක දීය. එය දෑසින් දුටු ඔහුගේ වැඩිමහල් සොයුරාද පසුව දා මරා දැමේ.
මෙම ඝාතන දෙක තුලදීම ඝාතකයින් ක්‍රියාකාරී වනුයේ වින්දිතයා තුල තමන්ට නැති බුද්ධිමත් භාවය පිළිබඳව වූ ඉරිසියාව හා නරුමකම ප්‍රදර්ශණය කරමිනි. මෙවැනිම සිදු වීම් ප්‍රසන්න සංජිව තෙන්නකෝන් විසින්ද තමන් කොළඹ යථාරෝ වදකාගාරයේදී මුහුණ දුන් අත්දැකීම් පසු කලකදී දියතට හෙළි කර තිබිණි. එහි අන්තර්ගතය කියවන පුද්ගලයෙකුට විප්ලවීය දේශපාලනය තෝරා ගැනීම පිලිබඳ දෙවරක් සිතීමට පෙළඹවනු ලැබුවේය. එවැනි භීතියක් කියවන්නා තුල ඇති කිරීමට ප්‍රසන්න එහි දී සමත් විණි. ඒවා ප්‍රසන්න හා ගාමිණී මුතුකුමාරණ මුහුණ දුන් පුද්ගලික අත්දැකීම් නිසාම ඒවා කියවන්නා තිගැස්සිමකට භාජනය කිරීමට සමත් විණි. වෘක්කයන් අතර නග්නව විශිෂ්ට කෘතියක් වනුයේද ඒ නිසාවෙනි. නමුත් ස්පිල්බර්ග් හෝ මනුවර්ණ එවැනි අත්දැකීම් ලැබූ වින්දිතයින් නොවේ.
ස්පිල්බර්ග් මතුකළ නාසි සංහාරක කඳවුරු තුල මතු වූ කෘරත්වය මනුවර්ණගේ රහස් කියන කඳු චිත්‍රපටයේ දී ඉතා බැරෑරුම්ව හමු නොවන්නේ ඔහු තම කෘතිය විවිධ ඉසව් වලට මෙම රැගෙන යාම තුලය. එම ඉසව් තුලත් චිත්‍රපටයේ කෘරත්වය හෝ මානව වාදය කතා කිරීමෙන් වැලකීම නිසා එය චිත්‍රපටයේ ප්‍රධාන විෂය තලයට කිසිදු සහයක් ලබා නොදේ. එම නිසා චිත්‍රපටය තුල අරාජික වාදී තත්වයන් පෝෂණය කරනු ලබන අතර එහි කිසිදු නැරේටර්(fil conducteur) කෙනෙකු නැති නිර්මාණයක් යන්න පැවසීමට ද ඇතැම් ප්‍රේක්ෂකයින් පෙළඹීම සර්ව සාධාරණය.
මෙම කලාත්මක අරාජිකවාදය සිංහල සිනමාව තුලට එක් වනුයේ හඳගම විසින් 1990න් පසු සිදු කල නිර්මාණ වලින් හා පසුව ඒවා තව දුරටත් ප්‍රවර්ධනය කල විමුක්ති ජයසුන්දර විසින් වේ. මේ නිර්මාණයන් තුල සිංහල බෞද්ධ සමාජයේ ජිවත්වන ශ්‍රී ලාංකික ගැහැනුන් හා පිරිමින් ලිංගික විපරිතයන්, හමුදා සාමාජිකයින් යනු ම්ලේච්චයන්, ග්‍රාමීය පසුගාමීත්වය, ක්‍රමයට ආවඩන ලිංගික පීඩනයන් හා ජාතිවාදයෙන් පෙලෙන භික්ෂු සමාජය හා ඔවුන් විසින් බලයට පත්කරන ජාතිවාදී පාලක පංතියේ ග්‍රාමීය යුධවාදය වැනි විෂයන් මෙම නිර්මාණ වලින් විද්‍යමාන විනි. මෙම නිර්මාණ ඍජුවම ඉලක්ක කරනු ලැබුවේ බටහිර ලිබරල් සමාජය විසින් ලබාදෙන සම්මාන සඳහාය. මෙම අනන්‍යාතා ලක්ෂණ සහිත සමාජ ස්තර මනුවර්ණ ගේ නිර්මාණය තුලද අඩු වැඩි වශයෙන් හමු වනුයේ ද මේ නිසාවෙනි.
1990න් පසු ලෝකය යනු ලාංකීය සමාජය තුල පමණක් නොව ලෝකය තුල ද මාක්ස්වාදය පරාජය වී විවිධ මායා මත ගොඩ නැගුනු යුගයක් වේ. ලෙනින් 1905 සිට 1917 පෙබරවාරි ධනේශ්වර විප්ලවය දක්වා කාලය හැඳින්වුයේ දේශපාලනය වෙනුවට නග්න ලිංගිකත්වය වෙලා ගත් යුගයක් ලෙසය. සීතල යුද්ධයේ ප්‍රධාන ජයග්‍රාහකයා විසින්ම පැවසූ ආකාරයටම එනම් “අවසාන වූ සෝවියට් සමාජවාදී ඉතිහාසය” තුල ලිබරල් මිනිසා එනම් මානවයා හුදකලා සත්වයෙකු බවට පත්කර පරිභෝජනවාදියෙකු බවට පත් කිරීම එතැන් සිට ආරම්හ විණි. 1990 න් පසුව සිනමාව තුල ප්‍රධාන වස්තු බීජයන් වුයේ ද සමරිසි ප්‍රජාව, විපරිත ලිංගික වාදයන්, ස්ත්‍රීවාදය, සුළු ජාතික විමුක්තිය වැනි අනන්‍යතා ලක්‍ෂණ(GENDRE) පෙන්නුම් කරන සමාජ කාරණාවන් වේ. මේ සඳහා පශ්වාත් නූතන වාදය, ෆ්රේදෝ-මාක්ස්වාදය(freudo marxism) පශ්වාත් මාක්ස්වාදය වැනි මායා මත විශාල කාර්යභාරයක් සිදු කරනු ලැබීය. මෙම අනන්‍යතා දේශපාලනයේ අවසන් ප්‍රථිපලය වී ඇත්තේ වර්තමාන යුරෝපය හා ලෝකය පුරා නාසි වාදය හා ෆැසිස්ට් වාදය වෙත ගමන් කිරීමය. එහි දී ලංකික සමාජය යම් සුවිශේෂී තාවයක් පෙන්වනු ලබන්නේ පසුගිය දශකය තුල අත්හදා බැලුණු එවැනි අනන්‍යතා ලක්‍ෂණ සහිත දේශපාලන දෘෂ්ටිවාදයන් ප්‍රචණ්ඩත්වය සහිත ඛේදවාචකයන් තුලම අවසන් කිරීමට ලාංකිකයන් සමත් වීම තුලය. ගෝල්ෆේස් අරගලය තුල මතු වූ ජාතික සමගිය එයට හොඳම නිදර්ශනයකි. එය ප්‍රචණ්ඩත්වය හා යුද්ධය වෙනුවට සම්මුතිය ඉල්ලු අවස්ථාවක් විය.
ශ්‍රී ලංකාවේදී 87-89 දී සිදු කරන මර්දනයෙන් අවසන් කරනු ලැබුවේ එක් තරුණ පරම්පරාවක් පමණක් නොව ඒ හා බැඳුනු මාක්ස්වාදී න්‍යායය හා සාහිත්‍යද එමගින් තාවකාලිකව අවසන් කරනු ලැබුවේය. සෝවියට් කඳවුර බිඳවැටීම අවසාන වී බිහි වූ යුගයේ දීද ඉහත මායා මත ලාංකීය සමාජය තුල පමණක් නොව ලෝකය තුලද පුද්ගලයා හා ප්‍රජාවන් මත පදනම් වූ නව ලිබරල් කලාවක් හා සාහිත්‍යයක් රෝපණය කිරීමට ලිබරල් බුද්ධිමතුන් සමත් විණි.
70-80 දශකයේ සිට ඉන්දියානු සිනමාවේ අභාෂයෙන් බැහැර වීමත්, 83 කළු ජූලියෙන් පසුව දෙමල කලාකරුවන්ගේ මැදිහත් වීම අවසන් වීමෙනුත් අනතුරුව ලාංකීය සිනමාව ගමන් කරනුයේ ඉහත පෙන්වූ හඳගමගේ හෙන හා මාඝත නිර්මාණ වල සිට නව පශ්වාත් නූතනවාදී විපරිත කලාවක් වෙතය. හඳගම විසින් ඉදිරිපත් කල චිත්‍රපට තුල ද අපට චැප්ලින් හා ස්පිල්බර්ග් හමුවේ. මේ මගේ සඳෙහි දැවෙන සොහොන් කොතෙන් සිගරැට්ටුව පත්තු කර ගන්නා සෙබලා තුලින් අපට මතක් වනුයේ චැප්ලින්ගේ හි kid චිත්‍රපටයේ කාන්තාව එවන ලිපියෙන් තම සිගරැට්ටුව පත්තු කර ගන්නා ඇයගේ ස්වාමියාවය. චන්ද කින්නරී හි රස්තියාදු කාර කොලුවාගේ චරිතය තුලින් පාරේ නිදා ගන්නා රස්තියාදු කාර චැප්ලින් මතු වේ. යුධ ජයග්‍රහණයෙන් ඔද්දල් වූ ජැක්සන් ඇන්තනීලා, ජයන්ත චන්ද්‍රසිරිලා ගේ ජාතිකවාදි චිත්‍රපට කලාව රාජපක්‍ෂ කඳවුරේ ඇද වැටීම සමග අවසාන වන අතර ඒවා අභියෝගයට ලක් කරමින් “කුඹියෝ” “සහෝදරයා” වැනි ටෙලි නාට්‍ය පැමිණේ. නමුත් ඒවා ද හොලිවුඩ් චිත්‍රපට වන Steven Soderberghගේ “ocean’s eleven”, sergio leon ගේ few dollars more” වැනි චිත්‍රපට වල ආභාෂ මත නිර්මාණය වූ කෘති විනා වෙන යමක් නොවේ. නමුත් එම නිර්මාණ තුලින් සමාජය කීද්දීමක් සිදු වූ බවට විවාදයක් නැත.
මෙම වසර 34 තුල වැඩිමහල් වූ ජගත් මනුවර්ණ නම් කලාකරුවාට සිනමාව හා ලාංකීය සමාජය තුල ගොඩ නැගුණු ඉහත ලිබරල් මායා මත වලින් පෝෂණය වී හඳගම, විමුක්ති ජයසුන්දර විසින් ගොඩනගන ලද විපරිත අනන්‍යතා විඥාණයෙන් මිදී පලා යා නොහැක. රහස් කියන කඳු තුල මතුවන පිස්සු ලොකු හාමුදුරුවන්ගේ චරිතය තුලින් අපිට මේ මගේ සඳයි හි ඩබ්ලිව් ජයසිරි රඟපෑ ලොකු හාමුදුරුවන්ගේ චරිතයත්, දිය කැට පහනේ කතා නොකරන මහළු මිනිසාගේ චරිතයත් මතු වේ. සෙබළුන් දෙදනා මුත්‍රා කරමින් සිටින විට සිදුවන ගැටුම තුල “තනි තටුවෙන් පියාඹන්න”වැනි සම ලිංගිකත්ව ආශාවක්ද, අවසාන ජවනිකාව තුල “අක්ෂරය”මෙන් කාන්තාවක් අඩ නිරුවතින් සිර කරුවා මත ඉඳගෙන සිටීම චිත්‍රපටයේ ප්‍රධාන වස්තු බීජය සමග එනම් හමුදා කෘරත්වය සමග ගැට ගැසෙන්නේ කෙසේද යන්න ද පැහැදිලි නැත. අවසානයේ සිර කරුවා නිදහස් වී පලා යන්නේ හමුදා සොල්දාදුවා සිර කරුවා සමග පෙමින් බැඳීමක් නිසාද, යම් මානව වාදයක් නිසාද නැත්නම් තමන්ගේ ප්‍රධානියා සමග ඇති පුද්ගලික වෛරයක් නිසාද යන්නද චිත්‍රපටිය තුලින් මතු වන්නේ ද නැත.
අවසානයේදී චිත්‍රපටිය සඳහා “කූඹියෝ” ටෙලි නාට්‍යයේ ප්‍රධාන ගොඩනැගිල්ල භාවිතා කිරීමෙන් මෙම චිත්‍රපටිය එහි දෙවන කොටසද යන හැඟීමක්ද ප්‍රේක්ෂකයා තුල ඇතිවේ. “කූඹියෝ” ටෙලි නාට්‍යය ලංකික සමාජය තුලට යම් බලපෑමක් කල නිර්මාණයක් යන්න බැහැර කල නොහැක. එහි සෑම කොටසකදීම තේමා සංගීතය තුල මෙම ගොඩ නැගිල්ලේ ඉදිරිපස ප්‍රදර්ශණය කිරීම තුල හා ප්‍රියන්ත මහ උල්පතගම විසින් එයට ගිනි තැබීම ප්‍රේක්ෂකයා තුල යම් උද්දීපනයක් ඇති කරන ලද්දක් විය. “කූඹියෝ” ටෙලිය තුල රංගනයෙන් දායක වූ මනුවර්ණට ද එයින් මිදී යාමට හැකි වී නැත. එය තවත් තහවුරු වනුයේ රහස් කියන කඳු තුලද පිස්සු හාමුදුරුවෝ විසින් පංසලේ වැඩ බිම ගිනි තැබීම තුලය. එම ගිනි තැබීම මගින්ද චිත්‍රපටයේ ප්‍රධාන විෂයන් පෝෂණය කිරීමක් සිදු නොකරන අතර එය “කූඹියෝ” හි ගිනි තැබීම සමග ඔහු තුල ඇති අනුරාගික බැඳීමක් සමග පමණක් සමපාත වේ.
ජගත් මනුවර්ණ යනු හුදු සාමාන්‍ය කලාකරුවෙක් නොවේ. අරගල සමයේ තමන් නිර්මාණය කරමින් සිටි ටෙලි නාට්‍යයේ වැඩ නවත්වා “මට මේ සමාජ මෙහවර අවසන් කිරීමට ඉඩ දියව්” කියා කලා මුදලාලිලාට අභියෝග කරමින් ගෝල්ෆේස් අරගල භුමිය තම ජීවිතය බවට පත් කර ගත් විශිෂ්ට කලාකරුවෙකි. ඔහුට තම කලා ජීවිතය ඔපවත් කර ගැනීම සඳහා යායුතු මග තවත් දීර්ඝය. ඒ සඳහා ඔහු පසුගිය වසර 34 පුරා ගොඩ නැගුනු ලිබරල් මායා මත වලින් මිදී තමන් තෝරා ගත් දේශපාලන දර්ශණය තුල හා නව ජාත්‍යන්තර ලෝකය තුල සිදුවෙමින් පවතින නව විපර්යාසයන් තුල ස්වාධීනව තම නිර්මාණ පෝෂණය කර ගත යුතුව ඇත. මෙම නිර්මාණය සිදු කිරීම සඳහා මනුවර්ණ ඉහත සඳහන් කල සියළු සිනමා අභාෂයන් ඉවත් කර ස්ටැන්ලි කුබ්රික් විසින් අධ්‍යක්ෂණය කල A Clockwork Orange චිත්‍රපටිය මේ සඳහා යොදා ගනු ලැබුවා නම් ඔහුගේ රහස් කියන කඳු තවත් සාර්ථක නිර්මාණයක් බවට පත් කර ගැනීමට හැකියාව තිබිණි. මෙම චිත්‍රපටිය තුල පාලකයින් විසින් තම පාලනයේ පැවැත්ම සඳහා සිදු කරන මානසික යුද්ධයේ දී රටේ පුරවැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩ තරුණ කල්ලියක් යොදා ගැනීමට හැකි හැකියාව අත්හදා බලයි.
කෙසේවෙතත් ජගත් මනුවර්ණගේ නිර්මාණය තුල ඔහු අපේක්‍ෂා කල භීෂණයේ කුරුරු භාවය යම් ආකාරයකින් හෝ පෙන්නුම් කිරීමට සමත් වී ඇත. නමුත් ඉහත බාහිර සමාජයේ නිර්මාණ තුලින් ලැබුණු බලපෑම මත ඔහුගේ නිර්මාණය තුල යම් අරාජික භාවක් දක්නට ලැබේ. මෙම හිස් බව ඔහුගේ අනාගත නිර්මාණ තුලින් ඔහු මග හරවා ගනු ඇත. මෙම මායා මතවල බලපෑම කෙතරම් බලවත්ද යත් ඒවා ඔහුද නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ තුල ද 2012 වසරේදී දැවැන්ත බෙදීමක් ඇති කිරීමට සමත් විනි. ඒවා බැහැර කර නව මාක්ස්වාදී න්‍යායයක් හා කලාත්මක සාහිත්‍යයක් ඉදිරිපත් කිරීමට එහි නිර්මාණ කරුවන් අදටත් සමත් වී නැත. කෙසේවෙතත් නව බෙදුණු ලෝකය තුල ඉහත ලිබරල් අනන්‍යතා සමාජ ප්‍රවාදයන් යලි අභාවයට යවමින් නව-මාක්ස්වාදී කලාවක් හා සාහිත්‍යයක් ලොව තුල බිහිවෙමින් පවතී. එහිදී හඳගමලා තමන්ගේ අනන්‍යතා විපරිත කලාව රැක ගැනීමට “ඊනියා ස්ත්‍රී වාදයක්”වෙනුවෙන් විලාප දෙද්දී මනුවර්ණ වැනි කලා කරුවන්ට සමාජ ප්‍රගමනය සඳහා හා නිර්ධන පංතියේ සමගිය සඳහා කල හැකි කාර්යභාරය ඉතා විශාලය.
බ්‍රෙෂ්ට් පැවසූ පරිදි ” මාහට යුද්ධය පිළිකුල් කරලීමට ඔබ කිසිදා සමත් නොවනු ඇත, මක්නිසාදයත් යුද්ධයේදී දුර්වලයන් විනාශ වන බව පැවසුවත් උන්ගේ සාමය පසු පසින් එන යුද්ධය වඩාත් බිහිසුණු මුහුණුවරක් ගනු ඇති බව මා දන්නා නිසාය”