ජවිපෙ දේශපාලනය ගැන යම් උනන්දුවක් මා තුළ ඇතිවූයේ මා උපන් කුරුවිට කඳංගොඩ ගමේ තිබුණු පංසල ඇසුරිනි. එවකට පංසලේ වැඩ විසූ එකම භික්ෂුව වූයේ දොඩම්පේ ප්‍රඥාකීර්ති හිමි පමණි. උන් වහන්සේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකු වූ අතර පංසලට නිතර ආ ගිය පිටස්තරයන් සියල්ලම පාහේ අන්තරයට සම්බන්ධ ප්‍රබල ක්‍රියාකාරිකයින් විය. එවකට 15 වන වියේ පසුවූ මමද 17 වන වියේ පසුවූ එජාප ගහලයින් විසින් මරා දැමූ ජගත් දේවප්‍රිය වන මගෙ එක කුස උපන් සහෝදරයාද මේ සියළු දෙනාගෙම ඇසුර ප්‍රිය කළේය. ගමේ වල්පල් දොඩවමින් රස්තියාදු ගහන පිරිස් වෙනුවට ජීවිතයට මග කියන දැනුම් සම්භාරයකික් පිරුණු ඒ සහෝදරත්වයට අප ප්‍රිය කළෙමු.
මා මුලින්ම දේශපාලන වැඩක් යැයි කියා අත ගැසුවේ 1987 රට පාවාදුන් ජේආර් රජිව්ගේ ජූලි ගිවිසුමට එරෙහිව ප්‍රදේශය පුරා කළුකොඩි එසවීමටය. එවකට ජවිපෙ ක්‍රියාකාරිකයින් සෙවීම කලුනික සෙවීමට සමානය. ප්‍රඥාකීර්ති හාමුදුරුවන් මම අයියා සහ අපේ ගමේ තවත් සගයෙකු වූ ගමගේ බයිසිකල් වල නැගී ගොස් සැතපුම් ගනං දුර ලයිට් කනුවල කොඩි ගැට ගැසීය. ගමගේ සහෝදරයාද 89 දී මරා දැමීය. අපි හතර පස් දෙනෙකු වුවද ජවිපෙ වෙනුවෙන් කළ අපේ මැදිහත්වීම බොහෝ පිරිසකගේ වැඩක් ලෙස ප්‍රදර්ශනාත්මක විය.
එම පංසලට පැමිණි අන්තරේ සගයින් අතරින් මොණරාගල හෙන්නායක සහෝදරයාට ගමේ යූඇන්පීකාරයින් සිහි නැතිවෙනතුරු දිනෙක පහර දී තිබුණි. අති උදාර බලාපොරොත්තු පොදි බැඳගත්ත හෙන්නායක වැනි සගයෙකුට අමානුෂික ලෙස පහර දීම මගේ දේශපාලනයේ කටු උල්කළ අවස්ථාවකි. එතැන් සිට වඩ වඩාත් දේශපාලන කටයුතු වලට යොමුවිය. පක්ෂ අධ්‍යාපනයේ තිඹිරිගෙය වූයේ ගමේ පංසලයි.
1988 ජනවාරි මාසයේදී පමණ ශ්‍රීපාදය වන්දනා කිරීමට කුරුවිට එරත්න පාරෙන් දහස් ගණනක් මිනිසුන් ඇදී එන නිසාම අපි 1987 දෙසැම්බරය ලංවන විට ශ්‍රීපාද මාර්ගයේ ජවිපෙ ප්‍රචාරක කටයුතු පටං ගත්තේය. මග දෙපස ඇති මහා ගල් පර්වත වල ජවිපෙ තහනම ඉවත් කරනු. ජේ.ආර්. රජිව් ඊනියා ගිවිසුම ඉරා දමනු වැනි සටන් පාඨ ලියන ලදී. මෙයද මහත් කතා බහට ලක්වූ මාතෘකාවක් විය.
ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ එවකට දේශපාලන කටයුතු වල නිරත වූ සටන් සගයින් ගණන අල්ප වුවද ඔවුන් විදහා පෑ අප්‍රතිහත ධෛර්යය අතිමහත්ය. එදා මරණ වරෙන්තුව දෝත දරාගෙන මරන බව දැන දැනම ඉතා සුළු පිරිසක් වු අප ඉතිහාසය විසින් දෙවුර මත තැබූ වගකිම අත්නොහළෙමු. ඒ ආරම්භක පිර්සේ සිටි මගේ අයියා ගමගේ හෙන්නායක දේවක සනත් මෙන්ම අතර මග 88 දී අපට හමුවී අප සමග උරෙන් උර ගැටී වැඩ කල ත්‍රීමා රංජි බන්ධු ද අප අතරින් සදහටම සමුගෙනය. අප භෞතික වශයෙන් වෙන් වුවද බැඳුනු සහෝදරත්වයේ සුවඳ පොද දශක තුනක ඇවෑමෙන් පසුවද හදවත තුළ සජීවීව පවතින්නේ නුඹලා අසමසම වීරයින් නිසාය.
**************************************************************************
මගේ හදවතේ රැඳුනු අමතන නොවන මතකයක් දිගහැරෙන්නෙ 1992 වසරේදී මැගසින් බන්ධනාගාරයේ දේශපාලන රැඳවියන් අතරතුරය. 1989 තිරශ්චීන මර්ධනයෙන් පසුව අහඹු ලෙස ජීවිතය ඉතිරිකරගත් රැඳවියන් මෙන්ම “අහඹු ලෙස දේශපාල රැඳවියන්” බවට පත්වූ පිරිසක්ද ඒ අතර විය. නැවත පක්ෂය ගොඩනගන සාකච්චාව වුවද ඉතා සීරුවෙන් කිරීමට බල කරන ලද්දේ මෙන්න මේ දේශපාල සිරකරුවන් ලෙස හැඳ පැළඳගත් පුද්ගලයින්ගෙනි.
1992 දී බූස්ස කඳවුරේ සිදුවුණු අති බිහිසුණු හමුදා ප්‍රහාරයෙන් පසුව නිහාල් ගලප්පත්ති ලාල් කාන්ත මා ඇතුළු බූස්සේ ක්‍රියාකාරිව මැදිහත්වූ 24 දෙනෙකු පමණ මැගසින් බන්ධනාගාර ගත කළේය. නිහාල් ගලප්පත්ති සහෝදරයාගේ දකුණු පාදය බිඳ දැමූ හමුදා ගහලයින් ඊට දින කිහිපයකට පසුව ඔහුද මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආවේ රෝද පුටුවක හිඳුවාය.
නිහාල් ගලප්පත්ති සහෝදරයා මැගසින් බන්ධනාගාරයට රැගෙන එනවිටද එහි තවත් ආබාධිත සගයෙකු විසීය. ඔහුට අප කෝසල යැයි කියමු. 1989 දී අත්අඩංගුවට පත්වූ බවත් වෘත්තියෙන් නීතිඥයෙකු බවත් පැවසූ ඔහු පිළිබඳව අප කිසිවෙකු සතුව නිවැරදි තොරතුරක් නොවීය. හතරවන තට්ටුවේදී ජවිපෙ ඉහළම සගයෙකු පිළිබඳව ප්‍රශ්ණ කර තම දෙපා කඩා දැමූ බවත් ඉන්පසුව වැලිසර නාවික කඳවුර හරහා මැගසින් බන්ධනාගාරයට රැගෙන ආ බව ඔහු නිතර ප්‍රකාශ කල බව මතකය.
පක්ෂය යළි මර්ධනයෙන් පසුව ගොඩනැගීම වෙනුවෙන් කැපවූ අප මැගසින් බන්ධනාගාරයේ ශාලා තුළ ගොනුවී සාකච්ඡා පවත්වන විට ඉහතකී කෝසල ගේ අවදානය නිරන්තරයෙන් යොමුව තිබුණි. ටදින මාස අවුරුදු ගෙවී ගොස් වසර 1994 වනවිට ඔහු පිළිබඳව මතුවූ සැකය තීව්‍ර වන්නට විය. එය එසේ වුවද ඔහු වැසිකිළියට රැගෙන යාම රෙදි සෝදා දීම නෑවීම අපගේ යුතකමක් හා වගකීමක් විය. අපට හැකි ලෙස සහෝදර රැඳවියෙකු ලෙස කෝල රැක බලාගත් මතකය තවමත් හදතුල රැඳී ඇත.
1994 අග බාගය වනවිට කෝසලගේ රාජකාරිය අවසන් අදියරට පැමිණ තිබුණි. එක්තරා දිනෙක තමන් නිදහස් බව පවසා මහත් ප්‍රීතියෙන් ඔහු අප හා පැවසුවේය. කිසිදු දිනෙක අධිකරණයකට රැගෙන නොගිය ඔහු නිදහස් විය. එය අපටද සතුටකි. එහෙත් ඒ සතුට පැයක් යනවිට සිනහවක් විහිළුවක් බවට පරිවර්තනය විය. වසර තුනකට ආසන්න කාලයක් මා සමගද ඇසුරු කළ කිහිළිකරුවක් නොමැතිව අඩියක් පෙරට යාමට නොහැකි වූ කෝසල මැගසින් බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබුණේ කිහිළිකරුව බන්ධනාගාර බිත්තියට හේත්තු කරය.
******************************************************************************************************